Monday, February 21, 2011

බිම් බෝම්බය

ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එකක් ලියන්න වෙලාවක් ආවා. පම්පෝරියකට නෙවේ හැබැයි පහු ගිය ටිකේම හොද පෝරියල් ටිකක් තමයි ලොක්කා දුන්නේ. ගෙදර යන්න හැම දාම රෑ උනා විතරක් නෙමෙයි, සති අන්තෙත් වැඩ කරන්න උනා. හරි දැන් මට හිතෙනවා කම්මැලිකමයි, මහන්සියයි යන්නත් එක්ක පොඩි රසවත් කතාවක් ලියන්න.


මේක සිද්ද වුනේ මම කැම්පස් එකේ first year ඉන්න දවස්වල. මගේ අතිජාත මිත්‍රයෙකුට වෙච්ච seen එකක්. අපේ මේ කතා නායකයා ස්කෝලේ ඉදලම මගේ ගජයා. ගෙවලුත් වැඩි ඈතක නෙවෙයි. පොඩි කාලේ ඉදලම ඉගෙනීමට වගේම Cricket වලටත් දක්ෂයා. මටත් ඉතින් හොඳ Cricket උනක් එදා ඉදලම තිබබ නිසා හැම දාම වගේ කට්ටියත් එක්ක Cricket අතක් දෙකක් නම් වර දින්නෙම නෑ. හරි දැන් කතාවට එමුකෝ.


ඉස්කෝලෙන් පස්සේ මම මොරටුවටත් යාලුවා පේරා කැම්පස් එකටත් තමයි සෙට් වුනේ. වැඩකරු නිසාම, අපේ මිත්‍රයාට පේරා ටීම් එකේ නැතුවම බැරි ක්‍රීඩකයෙක් වෙන්න ගියේ බොහොම සුලු කාලයක්. මම මොරටුවේ හිටියට මොකද අඩුම ගානේ මාසෙකට සැරයක් වත් අපි දෙන්නා සෙට් වෙනවා. 


මෙහෙම ටික දවසක් යද්දි අපේ යාලුවට සෙට් වෙනවා match එකක් මොරටු ටීම් එකත් එක්ක. මූ ඉතින් මට වේලාසනින්ම කිව්වා සීන් එක. මටත් ෆුල් ජොලි, ඇයි ඉතින් මගේ ගජයෙක් කියලා බය නැතුව කියන්න පුලුවන් පොරක්නේ, අනික ගමේ යාලුවෙක් කියලා පෙන්නන්න අපේ campus එකේ හිටියේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. 


ඔන්න දැන් අපේ කතානායකයා ප්‍රමුඛ team එක ගොඩ බැස්සා. එදා වැඩිය වැඩකුත් තිබ්බෙ නැති හින්දා, මමත් හොස්ටල් සෙට් එක දක්කගෙන ගියා match එකට. ඔන්න match එක පටන් ගත්තා කියමුකෝ, පෙරා තමයි බැටින්. හැබයි සද්දෙ දාගෙන ආවට මොකද, ලකුනු 10ක් යන්න කලියෙන් කඩුල්ලක් ගියපි. ඊලගට ආවේ අපේ ලොක්කා. කොහොමත් දක්ෂයා නිසා මම හිතුවා අඩුම 50ක් වත් ගහයි කියලා. කොහෙද මාවත් නොන්ඩි කරගෙන එක දිගට 4 දෙකක් ගහලා මූත් අවුට්. එදා ඉතින් මට කාලා ඉන්න නෑ අපේ සෙට් එකෙන්. 


ඊට පස්සේ දවසෙත් පේරාට match එකක්. ඉතින් ටීම් එක නැවතුනේ campus එකේම තමයි. වෙනස් පරිසරයක සෙට් වෙච්ච නිසා, අපි දෙන්නත් එක්ක දැම්මා පොඩි සoචාරයක්. ආගිය තොරතුරුත් කතා කරලා ඉවර වෙනකොට හොදටම රෑ බො වුනා. මේ අතරේ ඊට පස්සේ දවසේ අපෙ Computer Engineering Department එකෙන් ලොකු exhibition එකක් තිබ්බා. කොහොමත් නව පර්යේෂන එලියට දාන තැනක් නිසා අපි දෙන්නම උදේන්ම යන්න කතා කරගෙන තමයි චැට් එක ඉවර කලේ.


ඔන්න ඊලඟ දවසේ 9ට විතර සෙට් වුනා. Computer Department එක තිබ්බේ අපේ Department එකට පහල තට්ටුවේ. Campus එකේ වැඩිය exhibition නැති හින්දමද මන්ද සෑහෙන්න ජනතාවක් ඇවිල්ලා හිටියා. අපි දෙන්නත් ඉතින් ඔන්න කුටියෙන් කුටිය බල බල යනවා. ඉස්සෙල්ලම කියන්න අමතක වුනානේ. අපේ කතානායකයා සත්ව අවිහින්සාව ඉහලින්ම අගය කරන dial එකක්. 


හරි, දැන් ඔන්න අපි ගියා robot තියෙන කුටියකට. මාර සෙල්ලම් තමයි එතන, නෙක නෙක උපකරණ පිරිලා. ඔය අතරේ එක තැනක තිබ්බා බිම් බෝම්බ හොයන රොබොට් සෙට් එකක්. දැන් ඔන්න කන්පීතරයෙක් explain කරනවා වැඩේ. ටික වෙලාවකින් මිනිහා ගත්තා පොඩි micro robot උපකරනයක්. ඒකට පුලුවන්ලු බිම් බෝම්බ detect කරන්න. ඒක මීයෙක්ගේ බඩේ බැඳලා බිම් බෝම්බ ඇති පැති වල යවන්න තමයි නිර්මාණයේ අදහස. 


මේ වෙලාවේ මුලු කුටියම වගේ පිරිල හිටියේ. කාන්තා පාර්ෂ්‍යවයත් පිරිලා. මීයෙක් පාවිච්ච් කරනවා කියලා ඇහුවා විතරයි අපේ යාලුවට 84000ටම කෙන්ති ගියා. මට මොනවත් කියන්නවත් වෙලාවක් තියන්නේ නැතුව මෙන්න මූ අහපි "එතකොට මීයා මැරුනට කමක් නැද්ද?" කියලා. අහපු සද්දෙට හැමෝම වගේ seen එක දිහාවට බැලුවා. මටත් හිතුනේ ඇත්ත නේන්නම් කියලා. වටේ හමෝමත් අපි දිහා බැලුවේ "ඇත්ත නේන්නම් කතාව" වගේ බැල්මකින්. මෙන්න එතකොට අර කන්පීතරයා කියපි "මීයෙක්ගෙ බරට බිම් බෝම්බ පිපිරෙන්නේ නෑනේ මල්ලි" කියලා. මොන දෙයියන්ට කියන්නද? මට පොලොව පලාන යන්න හිතුනා. මුලු කුටියම දෙවනත් වෙන්න හිනා හඬ. හිනා සාගරයක් මැදින් කොහොමහරි canteen  එක පැත්තට යාගන්නකම් මට කොටින්ම හුස්ම වැටුනෙත් නැති ගානයි.... කොටින්ම ඒ equipment එක බැඳගෙන බිම් බෝම්බයක් උඩට පැන්නනම් මීට හොඳයි කියලා අපේ යාලුවට හිතෙන්න ඇති....