ගලන ගඟකි ජීවිතේ,
මට මේ කතාව ලියන්න හිතුනෙ පහුගිය දොහක මට වෙච්ච සිද්දියක් මතක් වෙච්ච හින්දා. මතක විදිහට මේක වුනේ පහුගිය මාර්තු මාසේ. එදා තමා අපි හා හා පුරා කියලා අලුත් ගෙදරට ගෙවැදිච්ච දවස. ලොකු බඩු මුට්ටු ටික අල්ලපු රටට අල්ලපු රටේ දෙන්නෙකුට (විස්වාස කරන්න ඒ එක්කෙනෙකුත් හරි අපි පස් හය දෙනෙකුත් හරි ) කියලා ගෙන්න ගත්තට මොකද, ඔය පොඩි පොඩි ලට්ට ලොට්ට ටික ගෙනාවේ අපේ කාර් එකෙන්ම තමයි. උදේ ඉදලම බඩු මුට්ටු ඇදල හවස් වෙනකොටනම් හොදටම හෙම්බත් වෙලා හිටියෙ. හරි ඉතින් කොහොමහරි අපි අන්තිම බඩු ටිකත් ගෙනාවා කියමුකෝ, වෙලාව රෑ 11ත් පහු වෙලා,හොදටම මහන්සියි, ගොඩක් රෑ වෙලා හින්ද ගේ ලග පර්කිනුත් නෑ. ඉතින් මොනව කොරන්නද, සුපුරුදු වැල්ලෙ පාර්ක් එක දිහාවට මමත් කාර් එක ගෙනිච්චා.
පාරෙන් අයිනට ගන්නවත් එක්කම මට තෙරුනා මොකක් හරි වැදුනා කියල. නවත්තල බැලින්නම්, ඔයිල් ලීක් එකක්. හොර්ස් එකක් වැල්ලෙ තිබිච්ච යකඩ කම්බියක පටලිලා නෙව. මාර වෙලාවක් තමා.. මට ඊට පස්සෙ දවසෙ අලුත් සයිට් එකක වැඩ. ඒකෙ ඉන්නෙ මරුමුස් ප්‍රින්සිපල් ටයිප් ලොක්කෙක් හින්ද අනිවාර්යයෙන්ම වෙලාවටම යන්නම වෙනව. කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ. දැම්ම කෝල් එකක් අහල පහලම ඉන්න මල්ලියෙකුට. අපරාදේ කියන්න බෑ මිනිහ ඊලග දවසෙ දුන්නා ලිෆ්ට් එකක් සයිට් එකටම. ඉතින් මම පහුවදා වැඩට ගිහින් අර මරුමුස් ලොක්කගෙන් ඊලග දවසට නිවාඩුවකුත් ඉල්ලගෙන (වැදල වගේ )ආවා ගෙදර.
ඊලග දවසෙ මම කෝල් කලා පොලිසියට, මෙහෙ එහෙමනෙ සිස්ටම් එක. මෙන්න මේ යෝදයෝ කියනවා, "අපිට එන්න බෑ,ඕනෙනම් පොලීසියට වාහනේ ගේන්න කියල". කොහොමත් මෙහෙ පොලීසිය ඔහොම තමයි. සුද්ද වගේම එන්ග්ලිශ් කතා කරන්න බැරිනම් ඉතින් අහැක් විදිහට හරි අරාබි කතා කරන්න ඕනේ. නැත්නම් අපිත් වැටෙන්නෙ අල්ලපු රටේ ගොඩටම තමා. මොනව කරන්නද, වාහනේ ලොරියක පටවගෙන ගියා පොලීසියට. ලොරි කාරයත් වාහනේ දාල ගියා වෙන වැඩක් තියෙයි කියලා. පොලිසිය ඇතුලට ගියාම කියපි, "කවුද වාහනෙ මෙහෙට ගෙන්න කිව්වෙ, වහාම තිබිච්ච තැනට ගෙනියනව, එතකොට අපි ඇවිල්ල බලන්නම්" කියල. කොච්චර වැදල වගේ කිවුවත් හරි ගියෙ නෑ. අයේම ලොරියක් හොයාගෙන කාර් එක ගෙනාව තිබිච්ච තැනටම. ඊට පස්සෙ සෑහෙන්න ට්‍රයි කරල පොලිසියෙ මහත්තයෙක්ව ගෙන්න ගත්ත. ලිය කියවලි ටික ඔක්කොම ගත්තට පස්සෙ අපි දෙන්නත් එක්ක ආයේ ලොරියක් හොයාගෙන ගිහින් දැම්ම workshop එකට.
විශ්වාස කරන්න, මේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා කාර් එක අපිට ආයේ හම්බවෙන්න සති 3ක් විතර ගියා. මේ කාලය ඇතුලතුලදි නොයෙක් විදියේ මිනිස්සු අපිට හම්බ උනා. මම කාර් වලට ආස උනාට කාර් ගැන වැඩිය දන්නෙ නැති නිසා රැවිටිලිකාරයන්ට අහුවුන අවස්ථා වැඩියි. හැබැයි කාරුණිකව මතක් කරන්න ඕනේ, මගෙ අසැල්වැසි සහොදරයෝ ටික කරපු උපකාර. ඒව මෙහෙම ලියල ලඝු කරන එකත් මට හිතෙන්නේ එයාලට කරන නිගරුවක් වගේ. හැබැයි දරුනු හිත් වේදනාවක් නම් අවසානයේ ඉතුරු වුනා, මිනිස්සු මෙච්චර වෙනත් මනුස්සයෙකුගේ අසරණ කමකදි තමන්ගෙ මඩිය තර කර ගන්න දරුණු වෙන්නෙ ඇයි කියලා.
ඔය අතරෙදි තමයි අපිට හිතුනේ මේක හොරණ තාත්තට කියන්න ඕනේ කියල. අපි මේ විස්තරයක් එ වෙනකම්ම කියල තිබ්බේ නෑ. කොහොමත් ජීවිතය ගැන දර්ශනවාදීව බලන කෙනෙක් නිසා මටත් හිතුන උපදේශයක් ගන්න ඕනේ කියල. මේ විස්තරෙ ඔක්කොම අහන් ඉදල තාත්ත කිවුවේ "පුතේ ජීවිතේ කියන්නෙ ගඟක් කියල හැම තිස්සෙම මතක තියා ගන්න" කියලා, ඒ වචන ටික ඇහුනම මට පුදුම සැනසීමක් දැනුනෙ. බුදු හාමුදුරුවෝ දේශනා කල මැදින් පිලිවෙත අනුව ජීවත් වීම එ වචන ටිකේ ගැබ් වෙලා තියෙනව නේද කියල මට හිතුන. කොටින්ම කිව්වොත් අද මම ජීවිතේ දිහා බලන විදිහ වෙනස් වෙන්න ඒ වචන ටික බලපෑව කිව්වොත් හරියටම හරි.
ගලන ගඟකි ජීවිතේ...
ඔයගොල්ලන්ටත් මේ කතාවෙන් ගත යුත්තක් තියේයි නම් ඒක මටත් සතුටක්. කියවල බලල මොකක් හරි හිතේ නම් ඇහක් විදිහට ලියල දාන්නකො. අර ගයාන් මල්ලි කිව්ව වගේ නොන්ඩියක් වුනත් කමක් නෑ...